චිත්තය

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

චිත්තය හෙවත් සිත යනු පරමාර්ථ වශයෙන් හා පරමාර්ථ වශයෙන් ද, ඇත්තා වූ අනේක ප්‍රකාරාර්ථයන් පිළිබඳ වූ දැනීම ය. "චෙත, මන, විඤ්ඤාණ, හැඩය,මානස" යන මේවා ද, චිත්තය ම දක්වන පාලි වචනයෝ ය. ඇස, කන, නාසය, දිව, කය, හෘදය යන මේ ස්ථානයන් හි සිත පහල වේ. එය ක්‍රියාවක් වුව ද, ව්‍යවහාරය පහසුව පිණිස දැනීම කරන කර්තෘ ශක්තිය ඇති ද්‍රව්‍යයක් සේ ද, ව්‍යවහාර කරනු ලැබේ. දැකීම, පෙනීම, ඇසීම යනාදී වශයෙන් ඒ ඒ ආකාරයෙන් උපදිනා සිත් හැඳින්වීම ට භාවිත කරන වචන ව්‍යවහාර භාෂාවේ බොහෝ ගණනක් වෙයි. ඇසෙ හි රූපයක් ගැටුණු කල් හි එය පිළිබඳ දැනුමක් හෙවත් සිතක් පහල වේ. එය ප්‍රකාශ කිරීමේ දී දැනීමය යන වචනය ව්‍යවහාර නො කොට පෙනීමය, දැකීමය, යන වචන ව්‍යවහාර කරති. ඇස ට හමුවීමෙන් යමක් දත් කල් හි පෙනුනේ ය කියා හෝ දුටුවේ ය කියා හෝ කියති. කනේ ශබ්ධයක් ගැටුණු කල් හි ඒ හඬ දැන ගන්නා සිතක් උපදී. එය ට හඬ දැනුම ය යි නො කියා ඇසීම ය යි කියනු ලැබේ. ඇසීම යන වචනයෙන් දැක්වෙන්නේ හඬ දන්නා වූ සිත ය. නාසය ට දුගඳක් පිවිසි කල් හි සමහර විට ගඳක් දැනෙන්නේ යි කියති. සමහර විට දැනීම යන වචනය නො ගෙන ගඳ ය යි ම කියති. එ බඳු අවස්ථාවල දී ගඳය යන වචනයෙන් හඟවන්නේ ද, ගඳ දැනගන්නා සිත ම ය. රසයක් මුඛය ට පැමිණි කල් හි රසයක් දැනුනේ ය යි කියති. සමහර විට එ සේ නො කියා තිත්ත ය, ඇඹුල් ය, යනාදී නම ම කියති. එ බඳු අවස්ථාවල රසයේ නමින් පැවසෙන්නේ ද, ඒ රසය දන්නා සිත ම ය. ශරීරයේ යමක් සැපුනු කල් හි සමහර විට සැපුනේ ය යි කියති. සමහර විට එ සේ නො කියා සැපීමෙන් වන ඵලය හඟවන රිදීම ය, ශීතල ය, උෂ්ණ ය, යනාදී වචන කියති. එ බඳු අවස්ථාවල දී ඒ වචනවලින් කියැවෙන්නේ ද, ස්පර්ශය දන්නා සිත ය. පඤ්චප්‍රසාද සම්බන්ධයක් නැති ව සිතක් උපන් කල් හි සමහර විට සිතුනේ ය යි කියති. සමහර විට දැනුනේ ය, කල්පනා වූයේ ය, ඕනෑ වුනේ ය, වැටහුනේ ය, තේරුනේ ය, හැඟුනේ ය, යනාදී වචන කියති. ඒ සියල්ලෙන් ම කියැවෙන්නේ සිත ම ය. කරුණු මෙ සේ හෙයින් දැකීම ය, පෙනීම ය, ඇසීම ය, ගඳ ය, සුවඳ ය, තිත්ත ය, කසට ය, ශීතය, උෂ්ණය, කල්පනාව ය, ඕනෑකම ය, යනාදී වචනවලින් දැක්වෙන්නා වූ අර්ථය චිත්ත පරමාර්ථ ය යි දත් යුතු ය. මෙ ම වචන අතරින් ඇතෙමකින් අධිකාර්ථය කියවේ. නිවැරදි ව ම සිතා ගැනීම ට අධිකාර්ථය හළ යුතු ය.

රථයේ ගමන ක්‍රියාව රථයෙන් ම එන වේගයකි. මිනිසකු ගේ ගමන ක්‍රියාව ශරීරයෙන් නැගෙන වේගයකි. අතක එසවීමේ ක්‍රියාව අතින් නැගෙන වේගයකි. එ මෙන් සිත ය යි කියන ආරම්මණ විජානන ක්‍රියාව චිත්ත පරම්පරාවේ අගින් නාග එන වේගයකි. පෝර ලැබෙන සැටියට වැලක අගින් දළු ලියලන්නාක් මෙන් අරමුණු ලැබෙන සැටියට ඒ ඒ අරමුණු ගැනීම් වශයෙන් චිත්ත පරම්පරාවේ අගින් අග ට අලුත් සිත් පහල වේ. සිත් පහල වන්නේ චක්ෂුරාදී වස්තුන් හි ය. එහෙත් සිත ඒවායින් නැග එන්නක් සැටියට නො ගත යුතු ය. සිත චක්ෂුරාදී වස්තුන් ගෙන් නැග එන්නක් නම් වස්තු කිහිපයක එකවර රූප, ශබ්ධ ආදී අරමුණු ගැටුණු කල් හි ඒ ඒ වස්තුවල එකවර ම ඒ ඒ අරමුණු පිළිබඳ සිත් පහල විය යුතු ය. එක් සන්තානයක එකවර සිත් දෙකක් පහල නො වන බැවින් ශරීරයේ කොතැනක සිත පහල වුව ද, පහල වන සෑම සිතක් ම චිත්ත පරම්පරාවේ අගින් ම පහල වන බව දත යුතු ය. සිත, චිත්ත පරම්පරාවේ අගින් ම නැග නැග එන වේගයක් සැටියට නො ගෙන ශරීරයෙන් හෙවත්  නිඃශ්‍රය වස්තුන්ගෙන් නැගෙන වේගයක් සැටියට ගතහොත් අරූප භූමියක් ඇති බව ඔප්පු කළ නො හැකි වන්නේ ය. පුනර්භවයක් ඇති බව ද, ඔප්පු කළ හැකි නො වන්නේ ය. සිත, චිත්ත සන්න්තතියේ අගින් ම නැගෙන දෙයක් හැටියට දක්නා තැනැත්තා හට පුනරුප්පත්තියක් ඇති බව ද, පහසුවෙන් ම පෙනෙන්නේ ය.

 ඇතැමෙක් සිත් ඇතිවීමේ ප්‍රධාන හේතුව අරමුණ ය යි කියති. අරමුණු සෑම තැන ම ඇත. කොතෙක් අරමුණු ඇතත් පැවත එන සිත් පරම්පරාවක් නැති නම් සිතක් නුපදී. ආරම්මණාදී හේතුන් ට සිත ඉපදවිය හැකි වන්නේ පැවත එන සිත් පරම්පරාවක් ඇති කල් හි පමණකි. එ බැවින් සිත් ඇති වීමේ ප්‍රධාන හේතුව ආරම්මණය නො ව පැවත එන සිත් පරම්පරාව බව දත යුතු ය. අරමුණක් නැති ව සිත ට ඇති විය නොහෙන බැවින් අරමුණ ද, සිත් ඇති වීමේ බලවත් හේතුවක් බව කිව යුතු ය.

සිතේ ආයුෂය

අහසේ හටගන්නා විදුලිය සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, බෙරයකින් නිකුත් වන හඬ සැණෙකින් කිසිවක් ඉතිරි නො වී නැති වන්නාක් මෙන් ද, කර අවසාන වනු සමග ම සිදු වී අවසාන වනු සමග ම එයින් කිසිවක් ඉතුරු නො වී ක්‍රියා අභාවප්‍රාප්ත වන බව ඉහත කියන ලදී. සිත ද, ක්‍රියාවක් බැවින් ක්‍රියාවන් ට අයත් වූ ඒ ස්වභාවය නො ඉක්මවා ඉපද මොහොතකුදු නො පැවතී වහා අභාවප්‍රාප්ත වේ. පරමාර්ථ ධර්මයන් ගේ ඒ අභාවප්‍රාප්තිය ට නිරෝධ ය යි ද, භංග ය යි ද, කියනු ලැබේ. එක් සිතකට උපදනා කාලයය, පවත්නා කාලයය, බිඳෙන කාලයය යි කාල තුනක් ඇත්තේ ය. ඒ තුන්කාලය ප්‍රමාණයෙන් සම ය. එකක්වත් දිගින් අඩුවැඩි කමක් නැත. උපදින්න ට යම් පමණ කාලයක් වේ නම් එ පමණ කාලයක් ම පවතී එ පමණ කාලයකින් බිඳී යාම චිත්ත චෛතසික පරමාර්ථයන් ගේ ස්වභාවය ය. රූප පරමාර්ථයන් ගේ ජීවන කාලය සිත මෙන් සතළොස් ගුණයකි.

සිතේ ඉපදීම ට උත්පාදය යි ද, පැවැත්ම ට ස්ථිතිය ය යි ද, අභාවප්‍රාප්තිය ට භංගය ය යි ද, කියනු ලැබේ. උත්පාදස්ථිති භංග යන මේ තුන් කාලය ට චිත්තක්ෂණය ය යි කියනු ලැබේ. චිත්තක්ෂණය ඉතා ලුහුඬු කාලයකි. එක් සන්තානයක එක් සිත් පරම්පරාවක එඉකවර සිත් දෙකක් නූපදින්නේ ය. දෙවන සිතක් උපදින්නේ උපන් සිත සම්පුර්ණයෙන් ම අභාවප්‍රාප්ත වූ පසු ව ය. සාමාන්‍ය ලෝකයා විසින් ඉතා කෙටි සැටියට සලකනුයේ ඇසුරක් ගැසීම ට ගතවන කාලය, ඇසිපිය හෙලීම ට ගත වන කාලය ආදිය යි. "සො පන ඛණො අච්ඡරාසංඝාත ඛණස්ස අක්ඛිනිම්මීලනඛණස්ස ච අනෙකකොටි සතසහස්ස භාගො දට්ඨබ්බො" යනුවෙන් සිතක ජීවන කාලය ඇසුරු ගසන කාලයෙන් ඇසිපිය ගසන කාලයෙන් කෝටි ලක්ෂ ගණනින් කොටසක් තරමට කුඩා බව දක්වා තිබේ.

 උපන් සිත කොතරම් ඉක්මනින් කොතෙක් වේගයෙන් නිරුද්ධ වෙතත් තැන සිස් නො වන ලෙස නිරුද්ධ වන සිත හා බැඳී උපදින සේ අලුත් අලුත් සිත් එළඹ සිටින අනේකප්‍රකාර ආරම්මණයන් ගනිමින් උපදින්නේ ය. නිරෝධ සමාපත්ති අවස්තාව හා අසංඥ භූමියේ ඉපිද සිටින අවස්තාවන් හැර චිත්ත පරම්පරාවේ සිත නුපදින තැනක නැත. විශේෂාරම්මණයක් නො ලද කල් හි ප්‍රතිසන්ධිය ට අරමුණු වූ කර්මාදීන් ගෙන් එකක් අරමුණු කරමින් වැල නො කැඩී සිත් උපදින්නේ ය. භවාංග සිත ය යි කියන කර්මාදිය ගෙන උපදිනා ප්‍රකෘති සිත් ඇති බව අප ට නො දැනේ. සිතේ ජීවන කාලය ඉතා ලුහුඬු බැවින් හා අතරක් ඇති නො වන සැටියට නිරුද්ධ වන සිත සමග බැඳී උපදනාක් මෙන් අලුත් අලුත් සිත ඉපදිය යුතු බැවින් ද, සිත උපදනා තැන සිදුවන්නේ ඉතා වේගවත් වැඩපිළිවෙලකි. එ බඳු වේගවත් වැඩපිළිවෙලක් කෙරෙන අන් කිසි යන්ත්‍රයක් නැත.  

සිතේ විසිතුරු බව 

ලෝකය ඉතා විචිත්‍ර ය. එ හි විසිතුරු බව නම් එකිනෙකට වෙනස් වූ අප්‍රමාණ සත්ව සමුහයක් හා එකිනෙක ට වෙනස් වූ වෘක්ෂලතා ආදී අප්‍රමාණ වස්තු රාශියක් ඇති බව ය. සිත ද, අරමුණේ සතියට වෙනස් වූවකි. පොල් ගසක අරමුණු කරන සිත ට පුවක් ගසක අරමුණු කරන සිත වෙනස් ය. කොස් ගසක් අරමුණු කරන සිත ඒ දෙක ට ම වඩා වෙනස් ය. ගලක් අරමුණු කරන සිත ඒ සියල්ල ට ම වඩා වෙනස් ය. එ බැවින් ලෝකය විචිත්‍රවන තරමට චිත්තය විචිත්‍රය යි කිව යුතු ය. ලෝක විචිත්‍රත්වයේ ප්‍රමාණයෙන් චිත්ත විචිත්‍රත්වය දැක්වීම මුහුදු ජලය ලිඳක ජලය ට සමාන කිරීමක් වැනි ය. සත්‍ය වශයෙන් ම කියතොත් ලෝක විචිත්‍රත්වයෙන් ලක්ෂ කෝටි ප්‍රකෝටි ගුණයකට වඩා චිත්තය විචිත්‍ර ය.

ලෝකයේ ඇති එක් දෙයක් ගැන ඇතිවන්නා වූ සිත් ද, එකිනෙක ට වෙනස් ය. එක ම වස්තුව ගැන දස දෙනෙකු ට ඇතිවන සිත් දස ආකාර වේ. එක ම අරමුණක් ගැන එක ම සන්තානයේ සිත් දහස වරක් ඇතිවන්නේ නම් එය ද, දහස ආකාරයකිනි. කරුණු මෙ සේ හෙයින් සිත සේ විචිත්‍ර අනෙකක් ලොව නැතැ යි කිව යුතු ය. සත්වයන් ගේ විසිතුරු බව ඇති වී තිබෙන්නේ ද, සිතේ විසිතුරු බව නිසා ය. 

සිතේ බලය 

සිත ඇස ට නො පෙනෙන හෙයින් කය ට ස්පර්ශ නො වන හෙයින් පරම සූක්ෂම ධර්මයක් වුව ද, එ හි මහා බලයක් ඇත්තේ ය. ලොව ඇති අන් සියල්ල ම සිත ට යටත් ය. එහෙත් දුබල සිත අන් සියල්ල ට යටත් ය. අරමුණු නිසා එය නොයෙක් අතට පෙරලෙන්නේ ය. සත්ව ලෝකය පවතින්නේ සිත නිසා ය. සත්‍ය දර්ශනයක් නැත්තවුන් ට නම් සිත පමණ උතුම් වටිනා තව ත් දෙයක් නැත. සත්‍ය දර්ශනය ඇතියවුන් ට පෙනෙන සතියට නම් සිත පමණ තවත් නපුරක් ද, නැත. සැම දුක ම ඇත්තේ සිත නිසා ය. සිත නැතහොත් කවර දුකක් ද? එය ම නිවන ය. මිනිසා හොඳ මිනිසකු කරන්නේ ද, නරක මිනිසකු කරන්නේ ද, සිත ම ය. ඔහු දෙව්ලොව බඹලොව යවන්නේ ද, නරකය ට ප්‍රේත බව ට තිරිසන් බව ට යවන්නේ ද, සිත ම ය.  

සිතේ දුරවබෝධය 

අසංඥ භාවයේ සත්වයන් ට හැර අන් හැම දෙනා ට සිත ඇත්තේ ය. ඔවුන් සෑම දෙය ම දැනගන්නේ සිතින් ය. සිතක් ඇති බව ද, ඔවුහු සැම දෙනා ම දනිති. එහෙත් සිතේ සැටි නම් ඔහු නො දනිති. ඇසින් ලෝකය බැලිය හැකි ය. නමුත් ඇස ට ඒ ඇස නො පෙනෙන්නේ ය. පිහියෙන් අනෙකක් කාපිය හැකි ය. එ මෙන් සිතින් අනෙකක් දත හැකි ය. අනෙකක් දැනගන්නා වූ දන්නා වූ සිත තමා ගේ සැටි නො දන්නේ ය. තමා නො දක්නේ ය. අනෙකක් දැනගන්නා වූ සිත දැකගන්න ට නම් තව ත් සිතක් ඇති විය යුතු ය. තව ත් සිතක් ඇතිවන කල් හි තිබුණු සිත නැත. එ බැවින් සිතේ හැටි දැනගැනීම අතිශයින් දුෂ්කර ය. සිතේ සැටි සෙවීම ට බොහෝ වෙහෙස විය යුතු ය.

මුලාශ්‍ර : අභිධර්මයේ මුලික කරුණු (රේරුකානේ චන්දවිමල මහා නායක හිමි)