නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
අභිධර්මයේ මූලික ධර්ම අසූදෙකකි. එ නම් සිතය, චෛතසික පනස්දෙකය, රූප විසිඅටය, නිවනය යි. අභිධර්මය උගන්නා තැනැත්තන් විසින් උගෙනීමේ අඩිතාලම වශයෙන් ඒ ධර්ම අසූදෙක මැනවින් උගත යුතු ය. මූලික ධර්ම පිළිබඳ වැරදි අවබෝධයක් ඇති වුවහොත් ඒ වරද දිගට ම යන බැවින් සෑම තැන දී ම එයින් අවුල් ඇති වේ. ඒ ධර්ම හොඳින් තේරුම් ගතහොත් අභිධර්ම පිටකය පහසුවෙන් උගත හැකි වේ. ඒ ධර්ම ටික හොඳින් තේරුම් නො ගෙන අභිධර්ම පිටකය කිහිප වාරයක් අවසන් වන්නට උගතත් ධර්මය ගැන පිරිසිඳු අවබෝධයක් ඒ තැනැත්තා ට නො ලැබේ.
පරමාර්ථය හා හීනාර්ථය
පරමත්ථ (පරමාර්ථ) යනු අභිධර්මයේ මූලික වූ ඉහත කී ධර්ම දෙඅසුව ට කියන සාමාන්‍ය නාමයකි. පරමාර්ථයන් ගේ තතු වෙන් වෙන් ව දැනගැනීම සඳහා අත්තිවාරම වශයෙන් එ හි ලක්ෂණ මැනවින් තේරුම් ගත යුතු ය.
සිත ට දැනෙන, සිත ට හසුවන සිතින් ගන්නා යමක් වේ ද, ඒ සියල්ල ට ම අර්ථ ය යි කියනු ලැබේ. අර්ථ යන්නෙ හි තේරුම සිතින් දැනගන්නා දෙය යන්න යි. සියල්ල ම සිත ට දැනෙන බැවින් අර්ථ නො වන කිසිවක් කොතනකවත් නැත්තේ ය. සිත ට දැනෙන සියල්ල අර්ථයක් වන කල් හි සිත අර්ථයක් වන්නේ කෙ සේ ද? එය අර්ථ භාවයෙන් බැහැර වන්නේ නො වේ ද? යන ප්‍රශ්නය ඇති වන්නේ ය. එක් සිතකට තවත් සිතක් දැනෙන බැවින් සිත ද, අර්ථය වේ. තව ත් ක්‍රමයකින් කියතොත් වචනයෙන් කියවෙන්නා වූ අසන්නහු ගේ සිත ට වචනානුසාරයෙන් දැනෙන්නා වූ දෙය අර්ථ නම් වේ. එක් වචනයකින් තව ත් වචනයක් කියා හැකි බැවින් වචන ද, අර්ථ භාවයෙන් නො මිදේ. හැම දෙය ම වචනවලින් කියවෙන බැවින් ලොව ඇති සියල්ල ම අර්ථයෝ වෙති.
සාමාන්‍යයෙන් එකක් වූ අර්ථය හීනාර්ථය සහ පරමාර්ථය ලෙස දෙකොටසක ට බෙදේ. ඇතැම් වචනයක් ඇසුණු කල් හි එ හි අර්ථ වශයෙන් සිත ට දැනෙන දෙය ඉතා මහත් දෙයක් හැටියට දැනුනත් ඒ දැනුණු දෙය සත්‍ය වශයෙන් ම නැති දෙයක් විය හැකි ය. ඇතැම් වචනයක් ඇසුණු කල් හි එ හි අර්ථ වශයෙන් දැනෙන දෙය ඉතා සියුම් අප්‍රකටදෙයක් වුව ද, එය සත්‍ය වශයෙන් ම ඇති දෙයක් විය හැකි ය. මේසය යන වචනය ඇසුණු කල එයින් විශාල වස්තුවක් සිත ට දැනෙයි. එය වැඩිදුර විමසා බැලුවහොත් එ හි කෙලින් තිබූ ලී කැබලි සතරක් ද, ඒවා එකිනෙක ට සම්බන්ධ කිරීම ට යෙදූ ලී කැබලි සතරක් ද, ඒවා මත ඇතුළ ලෑලි කැබලි කිහිපයක් ද, ඇණ කිහිපයක් ද, දැකිය හැකි ය. ඒවායින් එක් දෙයකුදු මේසය නො වේ. ඒ සියල්ල ද, මේසයක් නො වේ. ඒ සියල්ල මේසයක් නම් ඒ සියල්ල මිටියක් බැඳ තැබූ කල් හි ද, ඒ ලී මිටිය මේසයක් විය යුතු ය. එ සේ නො වන්නේ ඒ සියල්ල මේසයක් නො වන බැවිනි. ලී කැබලි ටික හැර මේසය කියා දෙයක් ද, නැත. මේසය යන වචනය ඇසුණු කල සිත ට දැනුණු දෙය ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙක සම්බන්ධ කළ කල් හි ඒ ලී කැබලි ටික ඒ ආකාරයෙන් එකිනෙක ට සම්බන්ධ වී ඇති ආකාරය අනුව ඇති සතියට සිත ට හැඟෙන සත්‍ය වශයෙන් නො ලැබෙන දෙයකි. අප භාවිත කරන වචන බොහෝවක් ම ඇසුණු කල් හි ඒවායින් සිත ට දැනෙන අර්ථ මේසය යන වචනයෙන් දැනෙන අර්ථය සේ ම සත්‍ය වශයෙන් නො ලැබෙන්නා වූ අර්ථයෝ ය. පුටුව, ගෙය, දවස, මාසය, උතුර, දකුණ, ගොනා, මිනිසා, යන මේ වචනවල අර්ථ විමසා බලනු. ඇතැම් වචනයක් ඇසුණු කල් හි එයින් අසන්නහු ගේ සිත ට හැඟෙන දෙය ඉතා අප්‍රකට දෙයක් වුව ද, එය සත්‍ය වශයෙන් ම ඇති දෙයක් විය හැකි ය. චිත්ත, ඵස්ස, වේදනා, ලෝභ, දෝස, මෝහ යනාදී වචනවලින් හන්ගේන්නා වූ අර්ථයෝ මේසාදියේ සේ මහත් ව නො වැටහෙන ඒවා වුව ද, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථයෝ ය. සත්‍ය ලෙස ම නැත්තා වූ අර්ථයය, සත්‍ය වශයෙන් ඇත්තා වූ අර්ථය යන මේ දෙකෙන් සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය ට වඩා සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය උසස් ය. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය පහත ය. එ බැවින් සත්‍ය වශයෙන් ලැබෙන අර්ථය පරාර්ථ නම් වේ. සත්‍ය වශයෙන් නො ලැබෙන අර්ථය හීනාර්ථ වේ.
හීනාර්ථ පරමාර්ථයන් ගේ ලක්ෂණ
සත්‍ය වශයෙන් නො ලැබෙන බව හීනාර්තයා ගේ ලක්ෂණය යි. සත්‍ය වශයෙන් ඇති බව පරමාර්ථයා ගේ ලක්ෂණය යි. විමසන්න ට මත්තෙන් මහත් ව පෙනී විමසන කල නැති වී යන බව හීනාර්ථයේ ලක්ෂණය යි. විමසන්න ට මත්තෙන් නො පෙනී විමසත් විමසත් ම මතුවෙවී ඒම පරමාර්ථයා ගේ ලක්ෂණය යි. දුර සිට බලන කල් හි මහා ප්‍රදේශයක් වසාගෙන සිටින මහත් දෙයක් සේ පෙනී ළං වූ කල කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීඑනාර්ථය විමසන කල කිසිවක් නො පෙනෙන මීදුම මෙන් හීනාර්ථය විමසන කල නැති වී යන්නේ ය. දුරින් බලන කල කිසිවක් නො පෙනී ඇත ගෑ කල තදින් දැනෙන යකඩයක ගිනියම සේ පරමාර්ථය විමසන්න ට මත්තෙන් නො පෙනී තිබී විමසන කල ඇති බව තදින් දැනෙන්න ට වන්නේ ය.
පරමාර්ථය සොයාගත යුතු ආකාරය
යම් අර්ථයක් පරමාර්ථයක් ද, නැතිනම් හීනාර්ථයක් ද, යි දැනගැනීම පිණිස එය බෙදා බැලිය යුතු ය. බෙදන කල් හි ද, මතු දැක්වෙන නීති දෙක සිත් හි තබාගෙන එය කළ යුතු ය.
- එක එක ම ය කිසි කලක එක දෙකක් නො වේ
- දෙක දෙකක් ම ය කිසිකලක දෙක එකක් නො වේ.
යම් දෙයක් කැඩිය හැකි වේ නම් එ සේ කළ හැකි වන්නේ එය පළමුවෙන් ම් දෙකක් ව තිබූ බැවිනි. එක් දෙයක් හැටියට සලකන දෙයක් හත අටකට විස්සකට තිහකට කැඩිය හැකිවෙතොත් එ සේ කළ හැකි වනුයේ එය පළමුවෙන් හත අටක් විස්සක් තිහක් ව තිබූ බැවිනි. වස්තු දෙකක් ළං ව ඇලී එකක් මෙන් තිබිය හැකි ය. එහෙත් ඇලීමෙන් දෙක එකක් නො වේ. එය ඇලී තිබෙන දෙකකි. නැවත වෙන් කළ හැකි වන්නේ ඇලී වුව ද, දෙක වෙන් වෙන් ව ම පවතී බැවිනි. එක නම් සැමකල් හි ම එක ම ය. කිසි ම ආකාරයකින් එය දෙකක් කළ නො හැකි ය. මුලින් එකක් ලෙස පෙනුණු දෙයක් දෙකට කැඩිය හැකි නම් දෙකට පැලිය හැකි නම් මුලින් පෙනුණු සත්‍ය වශයෙන් ඇති අර්ථයක් නො ව හීනාර්ථයක් බව දත යුතු ය. එකක් වශයෙන් සිත ට ලැබෙන අරමුණු බෙදා බෙදා බලන කල් හි අන්තිමට නො බෙදිය හැකි දෙයක් ලැබෙන තුරු බෙදනු. අන්තිමට ලැබෙන නො බෙදිය හැකි ඒ දෙය සත්‍ය වශයෙන් ම ඇති දෙය බැවින් එය පරමාර්ථ ය යි දත යුතු ය. යම් වචනයක් ඇසුණු කල් හි එයින් සිත ට දැනුනු දෙය කවරාකාරයකින් වත් නො බෙදිය හැකි දෙයක් නම් එය පරමාර්ථයක් ය යි දත යුතු ය. චිත්ත, ඵස්ස, වේදනා, පඨවි, ආපෝ, තේජෝ, ආදී වචන ඇසුණු කල් හි දැනෙන අර්ථ නො බෙදිය හැකි ඒවා ය. එ බැවින් ඒවා සත්‍ය ලෙස ම පවතින පරමාර්ථයෝ ය. මේසය, පුටුව, ඇඳ, ගස, ගල, ගොනා, මිනිසා, දෙවියා, යනාදී වචනානුසාරයෙන් දැනෙන අර්තයෙඕ බෙදිය හැකි ඒවා ය. එ බැවින් ඒවා සත්‍ය වශයෙන් ම නැත්තා වූ හීනාර්ථයෝ ය. සම්මුතිය පඤ්ඤත්තිය යන වචන දෙක ද, හීනාර්ථය ප්‍රකාශ කිරීම සඳහා භාවිත කරන වචන දෙකකි. හීනාර්ථය එ නම් සත්‍ය වශයෙන් නො පවත්නා එහෙත් ලෝකයා විසින් සම්මත කරගෙන සිටින දෙය ට වඩා සත්‍ය වශයෙන් ම ඇති පරමාර්ථ ධර්ම සංඛ්‍යාව ඉතා අඩු බව කිව යුතු ය. අභිධර්ම පොත්වල ඇති ආකාරය ට නම් ඇත්තේ පරමාර්ථ දෙඅසුවකි. ඒ දෙඅසූව කොටින් කියා කල් හි චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය යි කියා සතරෙක් වේ.
පරමාර්ථ ධර්මයෝ වනාහි ගස් ගල් සේ මහත් ව ඇස ට පෙනෙන්න ට ඇත්තාහු නො වෙති. පරමාර්ථ සියල්ලෝ ම ක්‍රියාවෝ ය. අද්‍රව්‍යයෝ ය. ක්‍රියා තත්වය මැනවින් නො වටහා ගත් තැනැත්තා ට පරමාර්ථයන් ගේ තත්වයන් වටහා ගැනීම අපහසු ය. පරමාර්ථ ධර්ම තත්වය දැනගනු රිසි තැනැත්තා විසින් පළමු ව ක්‍රියා තත්වය පිළිබඳ හොඳ අවබෝධයක් ඇති කරගත යුතු ය. ක්‍රියා තත්වය අවබෝධ කරගත් පසු ඔහු ට පරමාර්ථ තත්වය අවබෝධ කරගැනීම පහසු වේ. එ බැවින් පළමු ව මෙ හි ක්‍රියා තත්වය පිළිබඳ කුඩා විවරණයක් කරනු ලැබේ.
ද්‍රව්‍ය, ගුණ සහ ක්‍රියා ලෙස ලොව ඇති සියල්ල කොටස් තුනකට බෙදිය හැකි ය. එයින් වටබව, සතරැස් බව, දිගු බව, කෙටි බව,ආදී ගුණයන් ට ආධාර ස්ථාන වන සත්ව වූ ද, අසත්ව වූ ද, සියල්ලෝ ද්‍රව්‍යයෝ ය. ද්‍රව්‍යයන් ගේ ඇතිවීම, පැවතීම, සෙලවීම, නැති වීම, ආදී මේවා ක්‍රියාවෝ ය. යෑම, ඒම, කෑම පිපීම, පිසීම, යන ආදිය ද්‍රව්‍යයන් ගේ සෙලවීම ය. ලෝකයේ ක්‍රියා වශයෙන් සලකන දෙයින් වැඩියක් ම ද්‍රව්‍ය චලනයෝ ම ය. ද්‍රව්‍ය ඇස ට පෙනෙන්නකි. ක්‍රියාව ඇස ට පෙනෙන්නක් නො වේ. එය ද්‍රව්‍යය බලා එය අනුව සිතින් දත යුත්තකි. අනුමානයෙන් සලකා ගත යුත්තකි. ක්‍රියා පෙනෙති යි සලකනුයේ ක්‍රියා තත්වය නො දැනෙන නිසා ය. මාර්ගයේ රථයක් යන කල් හි පෙනෙන්නේ රථය පමණකි. යෑම නො පෙනේ. එය ඇස ට අවිෂය ය. යන රථය එක තැනක දී ඇස ට පෙනී සැණෙකින් එ තැන නො පෙනී එයින් ඔබ පෙනෙයි. එතන ද, නො පෙනී එයින් ඔබ පෙනෙයි. මෙ සේ මාර්ගයේ තැනින් තැන රථය පෙනෙමින් රථයේ යෑම අනුමානයෙන් මනස ට දැනේ. මිනිස් සත්වාදී අනෙකුත් ද්‍රව්‍යයන් ගේ ක්‍රියාවෝ ද, ඒ ආකාරයෙන් බව දත යුතු ය.
ක්‍රියාවල දීර්ඝ කාලයක් පවතින ස්වභාවයක් නැත. කර අවසාන කරනු සමග ම අභාවප්‍රාප්ත වීම සෑම ක්‍රියාවක ම සැටි ය. යන තෙක් ගමන ක්‍රියාව පවතී. යෑම නවත්වනු සමග ම ක්‍රියාව අභාවප්‍රාප්ත වේ. ඉදිරියට එයින් ඇතිවන කිසිවක් නැත. මෙ සේ සෑම ක්‍රියාවක් ම අභාවප්‍රාප්ත වන බව දත යුතු ය. පැය ගණන්, දිනගණන්, මාස ගණන්, වර්ෂ ගණන්, පවත්නා පවත්නා ක්‍රියාවන් ඇතිසැටියට ලෝකයා සලකනුයේ එක මෙන් පෙනෙන සේ බැඳී පවත්නා වූ ක්‍රියා වැල්, ක්‍රියා පරම්පරාවල් එක් කොට එක් ක්‍රියාවක් සැටියට සිතා ගැනීමෙනි. ඇත්තෙන් ම කියන කල් හි පැයක් නො ව විනාඩියක්, තත්පරයක් පමණ කල් පවතින ක්‍රියාවකුදු ඇතිබව නො කියා හැකි ය.
යෑම එක් ක්‍රියාවකි. සිටීම ඊට විරුද්ධ වූ ක්‍රියාව වේ. යමෙක් යේ නම් එ කල් හි හේ නො සිටියි. යමෙක් සිටී නම් එ කල් හි හේ නො යේ. අන්‍යොන්‍ය විරුද්ධ ක්‍රියා එක් යකුට එකවර කළ නො හැකි ය. පොළවේ පෙරලී යන රෝදයක් ගැන කල්පනා කරනු. නො පෙරලී තිබෙන කල් හි රෝදය බිම ට බර වී තිබෙන්නාක් මෙන් ම යන කල් හි ද, එය බිම ට බර වී සිටින්නාක් සිටීමෙන් ම යන්නේ ය. රෝදය පෙරලී ගිය බිමෙ හි එය නො සිටි තැනක් නැත. රෝදයේ පෙරලීම එක් ක්‍රියාවකි. බිම ට බර වී සිටීම එය ට විරුද්ධ වූ අනෙක් ක්‍රියාවකි. කොතෙක්වේගයෙන් පෙරලී යන රෝදයක් වුව ද, පෙරලෙන වරක් පාසා බිම සිටින්නේ ය. සිටින කල් හි නො පෙරලෙන්නේ ය. එක වස්තුවකට ඒ ක්‍රියා දෙක එකවර සිදු නො කළ හැකි බැවින් රෝදයේ ගමන ය යි කියනුයේ පෙරලීමක් ළඟ ට සිටීමක් ද, සිටීමක් ළඟ ට පෙරලීමක් ද, ඇත්තා වූ ක්‍රියා වැලකට ය. සාමාන්‍ය ලෝකයා විසින් ඒ ක්‍රියා වැල එය ට අයත් සිටීම් සියල්ල ම ගණනකට නො ගෙන හැරදමා පෙරලීම් රාශිය එක් කොට ගෙන එක් ක්‍රියාවක් බව සලකනු ලැබේ. රෝදය අඟලක දුරක් යාමට එකිනෙක පෙර පසු වී සිදුවන පෙරලීම් හා සිටීම් ක්‍රියා බොහෝ ගණනක් සිදුවන බව කිව යුතු ය. එ හි නිශ්චිත සංඛ්‍යා ප්‍රමාණයක් නො දැක්විය හැකි ය. අඟල යම් පමණ කොටස්වල ට බෙදිය හැකි වේ නම් එ පමණ ක්‍රියා සංඛ්‍යාව කිව යුතු ය. වේගයෙන් ගමන කරන රෝදයකට අඟලක දුරක් යෑම සඳහා ගතවන කාලය තත්පරයකුත් නො වන්නේ ය. සත්‍යය නම් තත්පරයෙන් ලක්ෂයෙන් පංගුවක වත් ක්‍රියාවක් නො පවත්නා බව යි.
මුලාශ්‍ර : අභිධර්මයේ මූලික කරුණු - මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහානායක හිමි
