අභිධර්ම සාහිත්‍යය


අභීධර්මයයන්නෙන් පාලි ත්‍රිපිටකයෙ හි තුන්වන පිටකය අදහස් කරන බව ප්‍රකට කරුණකි. එහෙත් අභිධර්ම සාහිත්‍යය ගැන කරන විට එතරම් සරල ලෙස හඳුන්වා නිහඬ වීම නො හැකි පරිදි අභිධර්ම සාහිත්‍යය විපුල බව කිව යුතු ය. ථෙරවාදී බෞද්ධයන් තම තුන්වන පිටකයේ ඇති ග්‍රන්ථ සප්තකය අභිධර්මය සේ හඳුන්වන විට එ ම සාහිත්‍යය වෙනත් ග්‍රන්ථ සමූහයක් අභිධර්මය සේ ඉදිරිපත් කරන නිකායාන්තර රැසක් ඇති බව සැලකිල්ලට ගන්නට අප ට සිදුවෙයි. එ මෙන් ම අභිධර්මය යනු බුදුරදුන් විසින් සූත්‍ර මගින් දේශිත ධර්මය විධිමත් ලෙස පද්ධති බන්ධනය කර තේරුම් ගන්නට දැරූ ප්‍රයන්තයේ ප්‍රතිඵල සේ ගන්නා ඇතැම් නූතන පඬිවරු ථෙරීය අභිධර්මය සාහිත්‍යය පවා ක්‍රම විකාශය වූවක් බව දක්වති. මේ මතිමතාන්තර ගැන අවබෝධයක් ලබා තිබීම බුදුසමය විධිමත් ව හදාරන්නවුනට ඉතා ප්‍රයෝජනවත් ය. 

මුලින් ම අපි ථෙරවාදී අභිධර්ම සාහිත්‍යය පිළිබඳව සළකා බලමු. මෙ හි දී ථෙරවාදීන් අතර ප්‍රමුඛත්වය ගන්නා පාලි බසින් අභිධර්ම පිටකය පවත්වාගෙන එන ථෙරීය විභජ්ජවාදී සම්ප්‍රද්‍රය මුල් තැන ලා සැලකිය හැකි ය. ජපන් ජාතික බෞද්ධ වියතකු වූ ජේ. තකාකුසු පවසන්නේ අභිධර්ම පිටකය විභජ්ජවාදී ත්‍රිපිටකයේ තහවුරු වූයේ තුනුවන සංගීතියේ දී බවය. එ ම අවස්ථාවේම ඊට සමාන්තර ව තවත් ථෙරීය කණ්ඩායමක් වු සර්වාස්තිවාදීන් විසින් ද අභිධර්මයක් සකස් කරගන්නා ලදී. මෙ හි දී අප විසින් තේරුම් ගත යුත්තේ අභිධර්ම සාහිත්‍යය අශෝක රජු ගේ සමයෙ හි (එ නම් තෙවන සංගීති අවස්ථාවෙ හි) අළුතෙන් ම ඇති වූ බව නො වේ. අභිධර්මය එ සේ එක් අවස්ථාවක සංගීති කාරකයක් විසින් රචනා කරන ලද්දක් නො වේ. තෙවන සංගීති අවස්ථාවෙ හි මොග්ගලීපුත්ත තිස්ස හිමියන් විසින් සකස් කරන ලද්දේ කථාවත්ථුප්පකරණය පමණි. අනෙකුත් ග්‍රන්ථ හය ඊට පෙර පැවතුනා විය යුතු ය. ථෙරීය විභජ්ජවාදීන්ගේ අභිධර්මය විරුද්ධ ව මුල්වරට විකල්ප අභිධර්මයක් සකස් කරගත්තේ සර්වාස්තිවාදීන් නො වේ. අශෝක රජු ගේ පියාණන් වූ බින්දුසාර රජ දවස ථෙරීය භික්ෂුවක් වූ වාත්සී පුත්‍ර හිමියෝ එවකට පැවති අභිධර්මය ප්‍රතික්ෂේප කර නව අභිධර්මයක් සැකසූ හ. පොත් නමයක් රචනා කර ඉදිරිපත් කළ මෙ ම නව අභිධර්මයෙන් උන්වහන්සේ කියා සිටියේ බුදු දහමෙ හි පුද්ගල සංකල්පය පිළිගැනෙන බව ය. බුදුරජාණන් වහන්සේ අනාත්ම වාදය දේශනා කළ නමුත් පුද්ගලයකු නැතැ යි වදාරා නැති බව පැවසූ උන්වහන්සේ එම පුද්ගලයා භවයෙන් භවයට විවිධ කායික ස්වරූප ගනිමින් සංක්‍රමණය වී අවසන විමුක්තිය ලබාගන්න බව පැවසූ හ. මෙ පුද්ගලපංචස්කන්ධය ට අතිරේක වශයෙන් පැනවිය හැකි අතර  එය ස්කන්ධයෙන් සහමුලින් ම බැහැර දෙයක් නො වන බව ද සංස්කෘත හෝ අසංස්කෘත ධර්මයක් ලෙස වර්ග කළ නොහැකි අව්‍යකෘතයක් බව ද පවසන ලදී. මේ අදහස් පිළිගත් පිරිස එ ම ග්‍රන්ථ නමයේ අභිධර්මය පෙරදැරි කරගනිමින් වාත්සීපුත්‍රීය නමින් නිකායක් පිහිටුවා ගත් හ. ථෙරවාදී ආභිධර්මිකයන් අතර මෙ ම ප්‍රභේදය හටගන්නා සමයෙ හි කථාවත්ථුප්පකරණය රචනා වී නො තිබිණි. එ හෙයින් මෙ ම වාදය හා සර්වාස්තිවාදය පිළිබඳ විවේචන කථාවත්ථුවේ ඇතුළත් කරන්න ට හැකි විය.

අභිධර්ම සාහිත්‍යයෙන් සෑහෙන කොටසක් අවශ්‍යයෙන්ම සූත්‍ර පිටකයේ ධර්ම කොට්ඨාසයක්  විග්‍රහ කරමින් ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් සාකඡ්ඡා කරමින් විධිමත් ධර්ම ප්‍රකරණයන් සේ සංගෘහිතව ඇතැ යි  ඒ. කේ. වෝඩර් ප්‍රකාශ කරයි. මෙ ම කාර්යය බුද්ධ කලයේ ම සමාරම්භ වූ බව ගැන විවාදයක් නැත. බුද්ධකාලීන සංඝරත්නය අභිධර්ම කතාවෙ හි නිරතව සිටි අවස්ථා ගැන සූත්‍ර පිටකයෙ හි ග්‍රන්ථවල දැක්වෙන්නේ හෙයිනි. මෙ හි දී අභීධර්මය හා සාරිපුත්ත මහ රහතන් වහන්සේ අතර සම්බන්ධය ද සැළකිය යුත්තකි. සම්ප්‍රදායික මතය අනුව දිව්‍යලෝකයේ දී දේශනා කළ අභිධර්මය බුදුරදුන් විසින් සාරිපුත්ත හිමියනට උගන්වන ලදී. අනෙකුත් භික්ෂූන් වහන්සේ ලා එය උගත්තේ සාරිපුත්ත හිමියන් වෙතිනි. සර්වාස්තිවාදීන්ගේ සංගීති පර්යාය සූත්‍රයේ දැක්වෙන්නේ සාරිපුත්ත හිමියන් අභිධර්ම විවරණ මහා සංඝයා ට දේශනා කළ විට ඒවා අනුමත කිරීම බුදුරදුන් විසින් කර ඇති බව ය. ධර්මගුප්තික නිකායේ අභිධර්මය හඳුන්වන්නේ ශාරිපුත්‍රාභිධර්ම ශාස්ත්‍රීය නමිනි. මේ හැරෙන්නට බහුශ්‍රැතිය නිකාය ට ද අභිධර්මයක් තිබිණ. මහායානිකයන් අතර විශේෂ අභිධර්ම පිටකයක් සඳහන් නො වුණ ද අභිධර්ම පිටකයන්හි ආ අදහස් විවේඡනය කරමින් තව අභිධර්ම ග්‍රන්ථ කිහිපයක් යෝගාචාර නිකායේ භික්ෂූන් වහන්සේලා විසින් රචනා කරන ලදී. එ ම ග්‍රන්ථ ද අභිධර්ම ග්‍රන්ථ වශයෙන් හැඳින්වූවාට වරදක් නැත. එසේ සමීක්ෂනය කරන විට.

  • ථෙරිය විභජ්ජවාදී අභිධර්ම සාහිත්‍යය
  • ථෙරිය සර්වාස්තිවාදී අභිධර්ම සාහිත්‍යය 
  • වාත්සි පුත්‍රීය හා ඔවුන්ගේ අනුනිකායිකයන් (ධ‍ර්මොත්තරීය භද්‍රයානික, ෂණ්ණාගාරික, සම්මිතිය) විසින් නිර්මිත පුද්ගලවාදී අභිධර්ම සාහිත්‍යය 
  • ධර්මගුප්තික නිකායේ ශාරිපුත්‍රාභිධර්මය 
  • බහුශ්‍රැතිය නිකායේ අභිධර්මය 
  • මහායාන යෝගාචාරනිකායේ අභිධර්මය 
  • සෞත්‍රාන්තිකයන් අභිධර්මය විවේඡනය කරමින් ඉදිරිපත් කළ සාහිත්‍යය
යන වශයෙන් ඉතා පෘථුල අභිධර්ම සාහිත්‍යයක් පිළිබඳ ව අප ට කථා කළ හැකි වෙයි. මේ හැර විවිධ මහාසංඝික නිකායයන් විසින් ඉදිරිපත් කළ විකල්ප අභිධර්ම කෘතී ද රාශියක් තිබෙන්නට ඇත. එහෙත් දැනට අප ට ඉතිරි ව ඇත්තේ ඉතා ස්වල්ප කෘති ප්‍රමාණයක් පමණි. නිදසුනක් වශයෙන් පුද්ගලවාදී නිකාය පහ විසින් රචිත අති මහත් ග්‍රන්ථ සමූහයෙන් අද අවශේෂ ව ඇත්තේ සම්මිතිය අභිධර්ම ශාස්ත්‍රය පමණි. (එය ද ලැබුණේ චීන බසිනි. ශාන්ති නිකේතනයේ වෙන්කථරමණන් විසින් එය ඉංග්‍රීසි බසට පරිවර්තනය කරන ලදී.)

මේ හැම අභිධර්ම සම්ප්‍රදායයක් ම බෞද්ධ චින්තනයේ පොදු උරුමයට හිමිකම් කියන අතර විස්තර ව්‍යාඛ්‍යාතයන් හි දී වෙනස්කම් දක්වති. විභජ්ජවාදීන් ගේ පට්ඨාන ප්‍රකරණය ප්‍රත්‍ය විසිහතරක් ගැන කරුණු දක්වතත් සර්වාස්තිවාදීන් ගේ අභිධර්මයේ ප්‍රත්‍ය හතරක් පමණක් දැක්වෙයි. (ඔවූහු හේතු හයක් ද දක්වති.) ශාරිපුත්‍රාභිධර්මයේ ප්‍රත්‍ය දහයක් හා හේතු තිස්තුනක් දක්වති. මෙ සේ යම් යම් ප්‍රභේද දක්නා ලැබෙන්නේ අභිධර්ම පිටකයන් ගේ සංවර්ධනය නිකාය භේදයෙන් පසු ව ද සිදු වූ හෙයිනි. වෙනත් විදියකින් කිවහොත් අභිධර්මය පිළිබඳ ව ඇතිවුණු මතභේද නිකාය භේද රාශියකට මුල් වූ බව කිව හැක.

අභීධර්මය පසෙක ලා සූත්‍ර කරා යමු යැයි සෞත්‍රාන්තික නිකායේ අය පැවසුවේ ද මෙ ම මතභේද අභිධර්මය නිසා සිදුවන බව පෙනුණු හෙයිනි. එහෙත් ඒ වනවිට ඇති වී තිබුණු ගැටළුවලින් මග හරින්නට ඔවුනට නො හැකි විය. එ හෙයින් අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කළ ත් අභිධර්ම ගැටළු මග හරින්න ට බැරි වූ තැන ඔවූහු අභිධර්මය විකල්ප සාහිත්‍යයක් ඉදිරිපත් කළ හ. එය ද අභිධර්ම නම නැතත් අභිධර්මයක් ම බව කිවයුතු ය.

ථෙරිය විභජ්ජවාදී සම්ප්‍රදායයෙ හි අභිධර්ම කෘති හතක් දක්නා ලැබේ. එ නම්.
  1. ධම්මසංඝණිප්පකරණ 
  2. විභංගප්පකරණ
  3. පුග්ගලපඤ්ඤත්තිප්පකරණ
  4. ධාතුකථාප්පකරණ
  5. කථාවත්ථුප්පකරණ
  6. යමකප්පකරණ
  7. පට්ඨානප්පකරණ
වශයෙනි. මේවා සෘජු ලෙස ම සම්බුද්ධ භාෂිත කෘති බව ථෙරවාදී අට්ඨකථාව අවධාරණය කරයි. මොග්ගලීපුත්තතිස්ස හිමියන් කථාවත්ථුප්පකරණය සකස් කිරීම පිළිබඳ ව ප්‍රශ්නයක් මතු වීම වැළකිය නො හැක. ථෙරවාදී අටුවාචාරීන් එයට පිළිතුරු දෙන්නේ මොග්ගලීපුත්ත තිස්ස හිමියන් එ ම කෘතිය කර ඇත්තේ බුදුරජුන් විසින් දෙන ලද න්‍යායය පදනම් කරගෙන නිසා එ හි කර්තෘත්වය ඒ හිමියනට නො ව බුදුරදුන්ට ම හිමිවන බව යි. 

මුලාශ්‍ර : අභිධර්මය (බෞද්ධ ධර්මාචාර්ය විභාගය)
සකස් කිරීම : www.buddhistculture.net