විවිධ අභිධර්ම සම්ප්‍රද්‍රයය

සත්වයා සහ ලෝකය පිළිබඳව අවිපරිත අවබෝධය ශ්‍රාවකයන් තුළ ජනිත කිරීම පිණිස කරනු ලබන ධර්ම විශ්ලේෂණයක් හා සංශ්ලේෂණයක් වශයෙන් අභිධර්මය හැඳින්විය හැකි ය. සූත්‍ර පිටකයේ දී ස්කන්ධ, ධාතු හා ආයතන වශයෙන් සත්වයා විභේදනය කර දක්වන්නේ අනාත්ම ධර්මය ප්‍රකට කිරීම පිණිස ය. පූර්වෝක්ත ධර්ම අනිත්‍ය ව පරස්පර සාපේක්ෂ ප්‍රතීත්‍ය සමුත්පන්න ව ප්‍රවර්තනය වෙයි. එ හෙයින් නිත්‍ය වූ අවිනශ්වර වූ ආත්මයක් නො ලැබෙන බව සූත්‍ර ධර්මයෙන් පැහැදිලි කරනු ලැබේ. එහෙත් සූත්‍ර පිටකයෙ හි දැක්වෙන මෙ ම බෙඳුම් සත්වයා සහ ලෝකය පිළිබඳ සකලාංග පූර්ණ බෙදුමක් අරමුණු කරගත් බවක් නො පෙනේ. අභිධර්මයෙ හි අරමුණ වූයේ සත්වයා සහ ලෝකය පිළිබඳ සියල්ල ම නිරවශේෂ වශයෙන් බෙදා දැක්විමේ මතයක් සකසා ගැනීම ය. එ හෙයින් ලොව පවත්නා සියල්ල ධර්ම වශයෙන් නම් කරන අභිධර්මය ඒ සියල්ල චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ වශයෙන් බෙදා දක්වයි.  මෙ සේ ප්‍රභේද ගත කළ විට වෙනත් කිසිවක් අවශේෂ වන්නේ නැත.

මෙ ම විශ්ලේෂණ ක්‍රමය මූලික වශයෙන් ථෙරවාදී විභජජවාදී සම්ප්‍රදායේ භාවිතා වූයේ ය. එහෙත් බුදුසමයෙ හි විකසිත වූ සැම ආචාර්යවාදයක ට ම එය පොදුවේ අභිමත වූ බව නො පෙනේ. විවිධ අභිධර්ම ගැටළු මත විවිධ ආචාර්යවරුන් අතර මතභේද තිබිණි. ථෙරවාදීන් ගේ සප්තප්‍රකරණය ලෙස හැඳින්වෙන පාලි ග්‍රන්ථ සප්තකය වෙනත් ගුරුකුලවල නො පිළිගැණිනි. නිදසුනක් වශයෙන් ථෙරවාදයේ ම ශාඛාවක් වූ සර්වාස්තිවාදී වෛභාෂික ආචාර්යවරුන් දැක්විය හැකි ය. ඔවුහු සකු බසින් වෙන ම අභිධර්ම ග්‍රන්ථ සප්තකයක් ඉදිරිපත් කළ හ. මෙ සේ අභිධර්ම සාහිත්‍ය සම්ප්‍රදාය රාශියක් ජනිත වී වාද විවාද කිරීම ගැන කළකිරුණු භික්ෂු පිරිසක් මේ සියලු ගැටළු අභිධර්මය පිළිගැනීම නිසා ඇති වූ දේ හෙයින් හොඳ ම ක්‍රියාව අභිධර්මය ප්‍රත්ක්ෂේප කිරීම යැ යි සිතා සූත්‍ර ධර්ම පමණක් පදනම් කරගත් ආචාර්ය වාදයක් ඉදිරිපත් කළ හ. ඔවුන් හඳුන්වන ලද්දේ සෞත්‍රාන්තිකයන් වශයෙනි. අභිධර්මය ප්‍රතික්ෂේප කළ ද, අභිධර්ම අධ්‍යන්‍යවල ප්‍රතිඵලයක් වශයෙන් උද්ගත වී තිබුණු නව ගැටළු මඟ හරින්නට ඔවුනට හැකි නො වීය. හෙයින් ඔවුන් අතුරින් ද බිහිවූයේ නමින් පමණක් අභිධර්මයක් නො වූ එහෙත් යථාර්ථ වශයෙන් බලන විට තවත් අභිධර්මයක් ම වූ ඉගැන්වීම් සමුද්‍රයයකි.

විවිධ අභිධර්ම සම්ප්‍රද්‍රයයන් ගැන සඳහන් කරන විට මුලින් ම අප විසින් සැලකිල්ල ගත යුත්තේ පාලි බසින් සුරැකි ඇති ථෙරවාදී විභජජවාදී අභිධර්මය වෙනත් කිසි අභිධර්මයකට වඩා පාලි සූත්‍ර සාහිත්‍යය සමග ගැලපී සිටින බව යි. පාලි සම්ප්‍රද්‍රයේ චින්තනය බෞද්ධ ඉතිහාසයේ පැරණි ම සම්ප්‍රද්‍රය බව අවිවාදනීය යි. එ හෙයින් කවර අභිධර්ම සම්ප්‍රදායක ත් වඩා එය මූලික බුදුදහම නියෝජනයෙ හි ලා සමත් බව කිව යුතු ය.

ථෙරවාදී විභජවාදීන් ගේ අභිධර්මය ළඟ වැදගත් වන  දියුණු අභිධර්ම සම්ප්‍රදායක් සේ ථෙරවාදී නිකායන් සේ දැක්වෙන සර්වාස්තිවාදය දැක්විය හැකි ය. එ ම අභිධර්මය ථෙරවාදී නිකායන් විසින් අරඹන ලද්දේ වුව ද මහායානිකය ට පවා එ හි බලපෑමෙන් මිදෙන්න ට නො හැකි වූ බව විචාරකයෝ පවසති. ථෙරවාදී අභිධර්මයෙ හි උගන්වනු ලබන්නේ චිත්ත, චෛතසික, රූප හා නිර්වාණ පමණක් වුව ද සර්වාස්තිවාදී අභිධර්මයෙ හි ද චිත්ත විප්‍රයුත්ත ධර්ම නමින් තව ත් ධර්ම දාහතරක් උගන්වනු ලැබිණි. මේ හැරෙන්න ට අසංස්කෘත ධර්ම (අසංඛත) සංඛ්‍යාව , ඔවුන් විසින් වැඩි කොට තිබේ. ථෙරවාදී පාලි අභිධර්මය නිර්වාණය එක අසංස්කෘත ධර්මය වශයෙන් දක්වයි. එහෙත් සර්වස්තිවාදීහු අසංස්කෘත ධර්ම තුනක් දක්වති. එනම්, ප්‍රතිසංඛ්‍යා නිරෝධ, අප්‍රතිසංඛ්‍යා නිරෝධ සහ ආකාශ වශයෙනි. ඔවුන් දක්වන ධර්ම සංඛ්‍යාව 75කි. සංස්කෘත ධර්ම 72ක් හා අසංස්කෘත 3ක් වශයෙනි. එ ම ධර්ම වර්ග කර ඇත්තේ මෙසේ ය.

චිත්ත                   1
චෛතසික           46
රූප                     11
චිත්ත විප්‍රයුත්ත     14
අසංස්කෘත           3

තව ත් වැදගත් අභිධර්ම සාහිත්‍යයක් වශයෙන් ශාරිපුත්‍ර අභිධර්ම ශාස්ත්‍රය විචාරකයන් ගේ අවධානයට යොමු වී ඇත. මෙය දැනට අවශිෂ්ට ව ඇත්තේ චීන බසින් පමණි. මෙය මහාසාංඝික නිකායේ ද, සම්මිතීය නිකායේ ද, නැතහොත් ධර්මගුප්තිකයන් ගේ දැයි හරියට ම නීර්ණය කර නැත. මේ ආචාර්යවරුන් තුන් පිරිස ට ම අභිධර්මයක් පැවති බව සඳහන් වේ. මහාසංඝිකයන් ථෙරීයයන් ගේ අභිධර්මය ප්‍රතික්ෂේප කළ ද මාතිකා පිටකයක් ඔවුනට තිබුණු බව ශිලාලේඛන සාධක මගින් සනාථ වී ඇත. මහාසංඝිකයන් ගේ ගෝකුලික හා බහුශ්‍රැතිය යන අනු නිකායවල භික්ෂුන් අභිධර්මය ප්‍රියකළ තමන් ගේ අභිධර්මයක් වර්ධනය කරගත් පිරිසක් බව පැවසේ. සම්මිතියන් ගේ අභිධර්මය පුද්ගලවාදී වූවකි. ශාරීපුත්‍රාභිධර්මයේ පුද්ගලවාදය ගැන කිසිවක් නොමැත.

ථෙරවාදී පක්ෂය ට ම අයත් අභිධර්මධර ආචාර්යවරුන් අතර වාත්සිපුත්‍රියයෝ විශේෂ තැනක් ගත් හ. ඔවුහු අභිධර්මයෙ හි දැක්වෙන නිස්සත්ත නිජ්ජීව ධර්ම විභාගය අසම්පූර්ණ විග්‍රහයක් බව සිතූ හ. ලෝක සත්වයා හුදෙක් ශුෂ්ක නිජ්ජීව ධර්ම සමූහයක් පමණක් ? සත්වයන් ගේ සජීවි බව අභිධර්මයේ දී නො තකා කළ නො හේ. එ හෙයින් එය පුද්ගල වශයෙන් හඳුන්වන ලදී. වාත්සීපුත්‍රීය නිකාය විසින් අරඹන ලද මෙ ම පුද්ගලවාදය ඔවුන් ගේ අනුනිකාය චතුෂ්කය වූ ධර්මෝත්තරීය, භද්‍රයානික, සම්මිතිය හා ෂණණාගාරික යන නිකායයන් විසින් ද පිළිගන්නා ලදී. මේ ඉගැන්වීම් පිළිබඳ ව මේ නිකායවල අනුගාමිකයන් විසින් ලියු ග්‍රන්ථ කිසිවක් සංස්කෘත භාෂාවෙන් ලැබී නැත. සම්මිතිය නිකායය ට අයත් සම්මිතිය නිකාය ශාස්ත්‍ර නම් ග්‍රන්ථය චීන බසින් ලැබී ඉන්දියාවේ වෙන්කථරමනන් නම් පඬිවරයා විසින් 1951 දී ඉංග්‍රීසි බස ට පරිවර්තනය කර ඇත. මේ හැරෙන්නට කථාවත්ථු, අභිධර්මකොශ වැනි ග්‍රන්ථවල ද විවේචනය සඳහා ඔවුන්ගෙන් අදහස් ගෙන හැර දක්වා තිබේ.

අභිධර්මය පිළිබඳ ඉතා වැදගත් අදහස් දැක්වූ මහායන ආචාර්යයවාදය යෝගාචාර නමින් හැඳින් වේ. බාහිර ලෝකය හුදෙක් අප විසින් සිතෙ හි  මවාගත් දෙයක් බව විඥප්ති මාත්‍රයක් පමණක් වශයෙන් එය හැඳින්විය යුතු බව ත් ඔවුහු පැවසූ හ. මහායන ධර්මයේ මූලික ඉගැන්වීමක් වූ සියල්ල හේතුඵල සමමවායයෙන් හටගත් ස්වභාව විරහිත ශුන්‍ය වස්තු වෙති යි යන මතය තහවුරු කරන්න ට තර්ක කළ ඔවුහු බාහිර ලෝකය ට යථාර්ථවත් හෝ පරමාර්ථමය පැවැත්මක් ඇතැ යි නො පිළිගත් හ. ඔවුන් ගේ අභිධර්මය අනුව ලෝකයේ වද්‍යාමාන ධර්ම වර්ගීකරණය කරනු ලබන්නේ මෙ සේ ය.

අසංස්කෘත ධර්ම      6
රූප                       11
චිත්ත                     8
චෛතසික             51
චිත්ත විප්‍රයුත්ත       24

මේ අනුව සංස්කෘත හා අසංස්කෘත ධර්මයන් ගේ එකතුව 100ක් වෙයි.

අභිධර්ම පිටකය ප්‍රතික්ෂේප කරමින් අභිධර්ම ගැටළුවලට සූත්‍ර පිටකානුසාරයෙන් පිළිතුරු සෙවූ සෞත්‍රාන්තික නිකාය ද අභිධර්ම ආචාර්ය වාදයක් බිහිකළ බව පිළිගැනීමට සිදු වේ. ඔවුන් ගේ ඉගැන්වීම් රාශියක් සර්වාස්තිවාදය සඳහා ග්‍රන්ථයක් රචනා කිරීමට ඉදිරිපත් වූ බව වසුබන්ධු විසින් අභිධර්මකොශයෙ හි ඇතුළත් කර ඇත. වසුබන්ධු සර්වස්තිවාදී ග්‍රන්ථයක් ලිවීමට ඉදිරිපත් වුව පෞද්ගලික ව සෞත්‍රාන්තික ධර්ම පිළිගත්තෙක් වූයේ ය. (එහෙයින් අභිධර්ම කෝශය මඟින් ඔහු සර්වාස්තිවාදය ට අවාසියක් කර නැතැ යි තේරුම් ගත් සර්වාස්තිවාදීහු තම මතය නිවැරදි අයුරින් වාර්තා කරනු පිණිස අභිධර්මදීපනම් තවත් කෘතියක් සම්පාදනය කළ හ.) සෞත්‍රාන්තිකයන් ගේ ධර්ම විභාගය පිළිබඳ අනෙකුත් ග්‍රන්ථ නෂ්ටප්‍රාය නමුත් ශිව ඥ්‍රන සිද්ධි නම් ද්‍රවිඩ ග්‍රන්ථයේ එ ම ධර්ම විභාගය දක්වා තිබේ. රූප, අරූප, ව්‍යවහාර හා නිර්වාණ වශයෙන් ධර්ම ප්‍රභේද හතරක් උගන්වන ඔවුහු එ හි වර්ගීකරණය මෙසේ දක්වති.

රූප               8
අරූප             2
ව්‍යවහාර        2
නිර්වාණ        2

මෙය ට අතිරේකව කේවල ධර්ම වර්ගීකරණය නමින් තවත් ප්‍රභේදනයක් දක්වා ඇත.

රූප                 8
විඥ්‍රන              6
වේදනා            3
සංඥ්‍ර                6
සංස්කාර         20

මේ අනුව කේවල ධර්ම 43ක් ඔවුහු උගන්වති. ඔවුන්ගේ සුවිශේෂ ඉගැන්වීම් අතර බීජ සංකල්පය, බාහරාර්ථ අනුමෙයත්වවාදය හා අභූත්වාභාව උත්පාද වාදය දැක්විය හැකි ය.

මෙ සේ විවිධ අභිධර්ම සම්ප්‍රද්‍රයයන් පිළිබඳ ව සාකච්ජා කරන විට සූත්‍රධර්ම විෂයයෙ හි බෞද්ධයන් අතර පවත්නා ඒකමතිකත්වය අභිධර්මය විෂයෙ හි නො මැති බව පැහැදිලි වේ. මෙ ම ආචාර්ය වාද හය - හත භාරතයේ සජීවි ව පැවති සමයේ උණුසුම් හා සිත් ගන්නා ධර්ම සංවාද ඔවුන් අතර පවතින්නට ඇත. 

කෙ සේ වුව ද අප ට පෙනී යන පරිදි පැරණි ම අභිධර්ම සම්ප්‍රද්‍රය ථෙරවාද විභජ්ජවාදීන් ගේ පාලි අභිධර්මය බව නිසැක ය. පාලි සූත්‍ර ධර්මයන් හි අන්තර්ගත ධර්ම දේශනයන් හි විවිධ ප්‍රවාද, උපමා, රූපක හා සංකේත ආදිය අතුරින් වියුක්ත සිද්ධාන්ත සමූහයක් නිෂ්කර්ෂණය කරගනිමින් උජ්වලිත වන පාලි අභිධර්මය මූලික සූත්‍ර ස්ථාවරය තුළ ම රැදෙන්නට දරන ප්‍රයන්තය ප්‍රශංසාර්භ ය. ධම්ම, පඤ්ඤත්ති, වොහාර වැනි සංකල්ප සියුම් ලෙස විවරණය කර බලන විට ආභිධර්මිකයන් අත්ථිතා, නත්ථිතා වැනි මිථ්‍යා සංකල්ප දුරලමින් ස්වාධීන විචාර මාර්ගයක් හරහා සියළු දෘෂ්ටින් ප්‍රහාණය කරන්න ට මග සලසන අයුරු පැහැදිලි වෙයි. ථෙරවාදී අභිධර්මය හුදු ලැයිස්තු මාලාවක් නො වේ. හි එන සංශ්ලේෂණ හා විශ්ලේෂණ ක්‍රමය ප්‍රායෝගික ආගමික චරණයකට උචිත භාවනාමය පදනමකි. එ හි විග්‍රහය ධර්ම බහුත්ව වාදයක් ලෙස වරදවා නො ගෙන ධර්මයන් ගේ සූක්ෂම හා ගතික ස්වභාවය තේරුම් ගනිමින් අනිත්‍ය, දුක්ඛ හා අනාත්ම ස්වභාවය එමගින් ධ්වනිත වන අයුරු ග්‍රහණය කරගත යුතු ය.

මුලාශ්‍ර : අභිධර්මය ( බෞද්ධ ධර්මාචාර්ය විභාගය)
සකස්  කිරීම : www.buddhistculture.net